Tuesday, March 19, 2013

පුංචි වෙළෙන්දා

රෝද තුනේ කරත්තෙ උඩ - ඉරිඟු කඩල කජු පුරවන්
තල්ලු කරන් නුඹ එනකොට - මට මුණිච්චි වන්නේ
කිලිටි ටිකිරි දත් සිනාව - මා සමඟ දොඩන්නේ

ඉනට ලිහිල් කොට කලිසම - එක අතකින් උස්ස උස්ස
දූලි පිපුණු පුංචි දෙපා - වැරෙන් අඩි තබන්නේ
සංසාරේ පියසටහන් - වැලිපාරෙ ඇඳෙන්නේ

සිදාදියට යන පාරේ - කඳු ගැටයක් හමු වුණාම
ඇයි ද මලේ ඔය තරමට - නුඹට හති වැටෙන්නේ
කන්දට නුඹ පරදනු බෑ - අදත් නුඹ දිනන්නේ

ශිල්පහලේ පුංචි එවුන් - නුඹේ කඩල රස බලද්දි
ඇයි ද මලේ උන්ගෙ අතේ - පොතට නුඹ එබෙන්නේ
අකුරු රටා අංක රටා - හැඩද නුඹ බලන්නේ

ගොම්මන අඳුරේ ගිලෙද්දි - නුඹේ පහන් සිළු එළියෙන්
අන්ධකාර ගිමන්හලේ - මුහුණු හැම දිලෙන්නේ
කවුද මලේ රෑ වන තුරු - නුඹේ තනි රකින්නේ

වියලි දෙතොල් විලිස්සාන - හෙටත් මලේ මේ යාමෙට
නුඹට පුරුදු මේ පාරෙන් - නොවලහා වරෙන්නේ
නුඹේ නෙතින් තමයි මලේ - මමත් ලොව දකින්නේ

No comments:

 
සිනහසෙනු මැන වේදනා පිසදා