Thursday, July 25, 2013

පමාවක අමාවක්

සිත් නිවන මෙත් සිසිල් හද සරින අමතා
දුක් තැවුල් සන්තාප හද සැණින නෙරපා
කෙළි කවටකම් පෑව මා සිතම සනසා
සිසුවියයි ළබැඳියයි ඈ මගේ රසිකා

ආල අනුරා බැලුම් නැතේ මා වින්දේ
ආල හැඟුමින් නිබඳ නුඹට පද බැන්දේ
කෝල මුදු සිනාවට සිත සතුට වින්දේ
මාල හත පළඳන්න පැතුම් පොදි බැන්දේ

කලාවක සව් සපිරි රූ සිරින් සොබනා
දයාවක මුදු සිහිල හද සපිරි සොඳිනා
අමාවක පුරහඳට හදින් පෙම් බැඳුණා
පමාවක නියා දැක සඳත් ඉකි බිඳිනා

Sunday, July 14, 2013

සෙබළ වත

හිරු කිරණ සඳ කිරණ
දිවා රෑ නිති දොවන
ගොම පොළොව පිය ලකුණු
නුඹෙ මතක සිහි ගෙනෙන

වැහි අඳුර ගලන සඳ
ඉහත්තාවට උඩින්
පියස්සක හැඬු කඳුළු
වළං කටු උතුරවන

ගෙපිල ඇඳ වැතිරි ගත
දිරන බව සිහිකරන
හීන් කෙඳිරිලි හඬක්
විටින් විට කන වැකෙන

ගිනිහලේ බංකුවක
ඈ නිතින් සුසුම් ලන
බොඳව ගිය ඇගෙ දෙනෙත්
වැට කඩුල්ලේ රැඳුණ

කැඩපතක පිළිබිඹුව
අක්බමරු පිරිමදින
ඈ පාළු දෙසවනට
මල් ගසා හැඩ බලන

සේ රූව බිත්තියක
අඩමානයට සිටින
මද සිනාවකුදු නැත
අභිමාන මුව රැඳුණ

Tuesday, March 19, 2013

පුංචි වෙළෙන්දා

රෝද තුනේ කරත්තෙ උඩ - ඉරිඟු කඩල කජු පුරවන්
තල්ලු කරන් නුඹ එනකොට - මට මුණිච්චි වන්නේ
කිලිටි ටිකිරි දත් සිනාව - මා සමඟ දොඩන්නේ

ඉනට ලිහිල් කොට කලිසම - එක අතකින් උස්ස උස්ස
දූලි පිපුණු පුංචි දෙපා - වැරෙන් අඩි තබන්නේ
සංසාරේ පියසටහන් - වැලිපාරෙ ඇඳෙන්නේ

සිදාදියට යන පාරේ - කඳු ගැටයක් හමු වුණාම
ඇයි ද මලේ ඔය තරමට - නුඹට හති වැටෙන්නේ
කන්දට නුඹ පරදනු බෑ - අදත් නුඹ දිනන්නේ

ශිල්පහලේ පුංචි එවුන් - නුඹේ කඩල රස බලද්දි
ඇයි ද මලේ උන්ගෙ අතේ - පොතට නුඹ එබෙන්නේ
අකුරු රටා අංක රටා - හැඩද නුඹ බලන්නේ

ගොම්මන අඳුරේ ගිලෙද්දි - නුඹේ පහන් සිළු එළියෙන්
අන්ධකාර ගිමන්හලේ - මුහුණු හැම දිලෙන්නේ
කවුද මලේ රෑ වන තුරු - නුඹේ තනි රකින්නේ

වියලි දෙතොල් විලිස්සාන - හෙටත් මලේ මේ යාමෙට
නුඹට පුරුදු මේ පාරෙන් - නොවලහා වරෙන්නේ
නුඹේ නෙතින් තමයි මලේ - මමත් ලොව දකින්නේ

Thursday, July 5, 2012

ආසිරි ගී

සිරි සුබ මංගල දිනයකි සෝබා
කුලගෙට යුවලක් පියනගනා
ජයතු ජයතු ජයමංගල වේවා... ආයුබෝවේවා...

.......... කුමරුන් .......... කුමරිය
අතිනත් අරගෙන පැමිණෙන්නේ...
නෑ සිය මිතුරන් ආසිරි ගී
හද බැතින් ගයා ඔබ පිළිගන්නේ...
ජයමංගලම් වේවා... ආයුබෝවේවා...

එකළු කරන්නට අසිරි වඩන්නට
නිවසට සරසවි කැන්දන්නේ...
තිසරණ සරණින් දෙවි රැකවරණින්
යුග ජීවිතයම සරුවන්නේ...
ජයමංගලම් වේවා... ආයුබෝවේවා...

Wednesday, November 28, 2007

වැලි කතරක අතරමංව

පිරිමින් පව් කඳ සැඩ සුළඟින්
පුළුන් රොදක් සේ පාවී ඈ
දුරු රට නිවසේ
නොදුටු මිනිස් රුව
පාමුල වැටිලා...

නොගිලෙනා රජ බොජුන්
ඔබ ඔබා
නොදිරනා සේය ඒ
පොඩි පැටව් මතක් වී
අනේ උන් කාලදෝ...

දැලි නොමැති වළ‍ඳේම
යෞවනය ජීවිතය
සේදිලා
දැලි නොමැති වළ‍ඳෙ රැඳි
ජීවිතේ සිහින බිඳ
රැස්කරන්...

පාවෙලා එන විටදි
ඈ ගතත් වියලිලා
ගනිහලේ දැලි වළඳ
පොඩි වෙලා විසිරිලා
දැලි නොමැති වළ‍ඳේම
ඈ සිහින බොඳ වෙලා...

Tuesday, October 23, 2007

මල් හසරැලි


හිරු දෙවිඳුනි හෙටත් වඩින්
මේ ලෝකෙට එළිය දෙන්න
කාසි මලක් පුබුදාලා
අපගේ කුස ගිනි නිවන්න

වැව් දිය නොසැලී ඉන්නේ

නෙළුම් කැකුළු පිබිදෙන්නයි
අපි නෙළුවේ නෙළුම් මලේ
රැඳී තියෙන හසරැල්ලයි

සන්සාරෙන් එතරවන්න

තිලෝ තිලක හිමි පුදන්න
මහත්වරුනි හෙටත් එන්න
දරු මුව හසරැලි මැවෙන්න

Wednesday, October 10, 2007

නිදුකාණනි....

නුවන් යුග පහන් කර අවිදු ගනඳුර නසා
නිවන් පුර වඩින මග දෙසූ බුදු සමිඳුනි
සතුන් වෙත පතළ මහ කුළුණු මෙත් පාලා
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන

සරාගී රුපුන් දූ තිදෙන ඔබ පරදා
උතුම් වූ බුදු පදවි ලැබ තිලොව දිනලා
එවන් වූ විකුම් පෑ මගේ බුදු සමිඳුනි
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන

සෝපාක ගෝතමී පටාචාරාලා
නෙත් අයා ඉඳී තව වඩිනතුරු සමිඳුනි
ඔවුන් හද රැඳී දුක් ශෝක ගිනි නිවලා
දහම් පද දෙසන්නට වඩිනු මැන වඩිනු මැන

Monday, September 10, 2007

සිහබාවනි...

සිංහබා... සිංහබා...
මගේ සුරතල් පුතණුවනේ
පුංචි කාලේ මාගෙ තුරුලේ
නැළවු හැටි සිහි වෙනවා
මගේ පුතණුවනේ...

මගේ සිහින ද සොරා ගෙන නුඹ
කූඩුවෙන් ඉගිලිලා
කොහි ද සැඟ වී ගියේ සෙව්වෙමි මා
සිහින යළි මට දී
කූඩුවට ඉගිලෙන්න පුතණුවනේ...

නුඹේ නර ලොව මගේ තිරිසන්කම
නුඹට පැන නම්
මෙත් මුදිතා ගුණ හී සරයට දන් දෙන්නම්
පිතු සෙනෙහේ මියැදී යන්නට
හී සරයක් විදපන්...

(සිංහබාහු නාටකය ඇසුරිනි)

පෙම්බරී

නෙත් අගින් මුදු බැලුම් හෙලනා
සඳක් වන් මුව මඬල දිලෙනා
ලොවේ දුටු ලස්සනම යුවතිය
නුඹයි මගෙ පෙම්බරී..

හදවතින් පිපි සිනා මල නුඹෙ
මුව මඬල මත දකින හැම සඳ
හදවතේ රැඳි නේක දුක්ගිනි
දුරු කරයි හිරු ගණඳුරක් සේ..

බිම බලා යන ලැසි ගමන නුඹෙ
පියකරුයි මා සනසවයි සිත
කොමල බස් ඇති මගේ සොඳුරිය
විටෙක මට බෝ බිය ගෙනේ නුඹ..

ජීවිතය යැදීම

කිහිළිකරු වාරුවෙන්
දුම්රියෙන් දුම්රියට
ජීවිතේ ඇදන් යන
මැරෙන බව අමතක ව
කවුළුවෙන් දුර ඈත
බලා නො බලා සිටින
දනන්ගේ ලඟට යන
මැරෙන බව සිහි කරන
සබඳ ඔබටත්
මට සේම ඇති පැටව්
රස කැවිලි ගෙනෙන තෙක්
නෙත් අයාගෙන සිටින
මට සේම ඇති පියඹු
ජීවිතේ කියන්නට
මඟ බලා ගෙන සිටින
දමමි මම කාසියක්
හිරි කැටි කොට පාන දෑතට
ඇති නිසා නොවේ මට
සබඳ ඔබ යදින්නේ
ජීවිතය නිසා...

කම්කරු ගීය

අහස සිඹින මහ මන්දිර නිමවන අන් සන්තක වූ
අහස පෙනෙන පැල් කෙටයේ වෙසෙමු අපි තුටින්..
අහස සිඹින සිතුම් පොදිය තුරුළු කරන් සිත ඇතුලේ
මහ පොළොවේ සුර ලෝකය සොයමු අපි ඉතින්..

වසන් නොවී පහස ලබා
හාද වෙලා මිතුරුකමට
හිරු දෙවිඳුන් හැමදාමත් පායා එන්නේ..
සියෙත් කැළ ද අහස නැගී
අවදිවන්න කියන ලෙසේ
ජීවිත ගීතයයි වයන්නේ..

දුක හඳුනන ගතේ රැඳුන
දහදිය කඳුලයි අපගේ
මහ මන්දිර නොසැලෙන සේ සවි වඩවන්නේ..
හිතේ මැවෙන මහ මන්දිර
ගතේ සවිය සරි කරගෙන
අපිමයි මේ මහ පොළවේ මවාපාන්නේ..

පුරහඳ ඔබ

රාත්‍රිය මා නම්
මා හද අඹරේ
පුරහඳ ඔබ වේ
මගේ සොඳුරු ළඳුනේ...

සල්ලාල මාවවුලො
ඔච්චම් කළාදෝ
වළා සළු පටින් ඔබ
සැඟවුනේ විලිබරව...

හද සුසුම් නොවේ මා
කුමුදු මල් නොමැතිදා
සත්තකයි සොඳුරියේ
ඔබයි මා ජීවිතේ...

ධීවර ගීතය

බෝට්ටුවක පාවෙනා
ජීවිතයක හීන
නිදිවරාමුත් දකින්නේ
දැලේ පැටළුණු
මසුන් පණ කඳ
අඹු දරුන් දිවි රකින්නේ
මූදු ගමනක්
යන්ට කලියෙන්
හීන මාලිග තනන්නේ
මසුනි නුඹ දෙන
පණ කඳින් මම
කෝම මාලිග තනන්නේ
නිදි නොමැති
දෑස් දැක
කරදියත් ඉකිබිඳින්නේ
අඹුදරුන් ලන සුසුම්
මහ මූද ඉකිබිඳින
හෝ හඬින් මට ඇසෙන්නේ
නුඹ මතක් වූ විටෙක
නැහැ පුතුනි
බත් පිඩත් මට ගිලෙන්නේ
මාරියාවේ නුඹ
අද නොවේ හෙට
හඬතලාගෙන වරෙන්නේ....

කෝං ගහ ඉකිබිඳී

කෝං ගහ මුල වැටුණු කොළ රොඩු
ඇට්ටි මැෂිමක් සඟවලා
වටේටම පිපි පිට්ටු බිම්මල්
පරවෙලා පෙති විසිරිලා


කෝං ගහ ළඟ සෙල්ලමට සැදු
ගෙදර දැන් අබලන් වෙලා
පුංචි වළ‍ඳේ ඉදුණු වැලි බත්
පිළුණු වී බිම ඉහිරිලා


කෝං ගහෙ බැඳි අම්බරුවා අද
ඉකිබිඳී ඇස් කඳුළු නොසලා
කැඩුණු උගෙ අං දෙකම ගැලවි
පොල් කටුව බිම වැටීලා


බටපතුරු සුක්කානමක් බැඳ
සැදු කරත්තය කැඩීලා
කැඩුණු එහි සුක්කානමත් රෝදත්
තැනින් තැන ගැලවිලා


සැඳෑයාමෙට ඇසුන ගී පද
අද නැතේ එහි ඇසෙන්නේ
කෝං ගහ අතු ඉහිරිලා ගිය
තනිවෙලා ඉකිබිඳින්නේ...

අම්මා

අඳුරු ගණ තිමිර පට
සංස්කෘති වසන සඳ
කීතු කොට තිමිර පට
දකින්නට ලෝකය ම
සෙනේ රැස් පහස දී
කුමුදු හැම හිනැස්සූ
සඳු ඔබ...

උවැසිය

‍ශ්‍රද්ධා කිරි බුබුල
බලා සිටිද්දී අබිමුව
කරුණා සිසිල හමනා
නිල් ඡත්‍රයේ
සෙවණැල්ලෙන් වැසී
කුටියේ වැඩහුන්
උපේක්ෂාවේ
සංකේතය දෙස බලා
දෑත නළලට ගෙන
සියළු කරදර
බිමතබා හිසින්
නැගිටින්නේ
සැහැල්ලු හිසින්

සෙබළ බිරියකගේ සිතිවිල්ල

මුළු ලෝකය හාද වෙලා යහනේ නිදි දුව එක්කලා
එනමුදු ඈ තරහ වෙලා සිතට හාද මා එක්කලා

සිත එක්කලා හාද වුනේ මගේ හිමිට තනි රකින්න
නුඹ තනි නෑ මා හිමියනි මගෙ හිත ඇති නුඹ ළඟින්ම

තරහ වුනේ රට රකින්න යහනේ නිදි දුව එක්කලා
නුඹ නිසානෙ හාද වුනේ ලෝකය නිදි දුව එක්කලා

ගෙදර රකින හිමි කියන්නෙ මුළු ගෙදරට රන් පහනක්
නුඹ රකින්නෙ මුළු රටක්නෙ නුඹ රටටම මිණි පහනක්

මේඝයිනේ වහිනු එපා රට රකිනා හිමි තෙමන්න
තුරු රජි‍ඳේ වැස්සොත් හෙම මගේ හිමිට සෙවණ දෙන්න

රැහැයියනේ අඬනු එපා පොඩි එවුන්ට හිනා වෙන්න
කුරුල්ලනේ අවදි වන්න ගී ගයන්න රෑ ගෙවෙන්න

හෙට සාමයෙ මල් අරගෙන පාන්දරින් හිරු වඩීවි
නුඹ නාඩන් පුතණුවනේ තාත්තා හෙට ගෙදර ඒවි

බේබද්දාගේ සිහිනය

කොහු ඉහිරෙන
ඇතිරිලි නැති
මෙට්ටයක
දෑත් දෙපා විදා
නිදන
සම්කඩ
ඇට කටු
නොසලන
ශරීරය
සිහිනයක පැටලී
පාවෙනා......
පහන් සිලක
ගිනිදැල් අතරින්
සව්දිය පුරන
සුරකුමරියක
දිළිසෙනා.......
මනුකත
ජීවන සුවඳ විඳ විඳ
සුරකුමරියට ආවඩා
මධුවිත
සුරලොවක සැතපෙනා......

ගං වතුර

හීල්ලුම් හඬ දසත රැව් දී
කැඩුණු නිවසක වහලෙ සිරවී

උදම් ඇනුමට පාරු සැදිලා
කොලු කුරුට්ටන් පාරු නැගිලා

ගැටව් සැවොමත් එකට එක්වී
කරදරෙන් සැම එගොඩ කරවී

පුංචි දරුවන් කිහිළිගන්වා
අම්මලා හැම දෙනෙත් දල්වා

ගොවි දනන් පණ කඳ ගිලන්වී
කුප්පි ඇතුලේ සෙමින් සැඟවී

බස් මොටෝ රිය ගමන් ගන්නා
බෝට්ටුත් මහ පාරෙ යන්නා

ගසා යන ජීවිතය ඉල්ලා
යදින මහ හඬ ඈත ඇසෙනා

මායිමේ වැටගාව

මායිමේ වැට අයිනෙ
පිපුණු පොඩි මල් කැකුළු
මහ හඬින් තිගැස්සී
බියවෙලා ඇකිලිලා

හමාආ සැඩ සුළඟ
ඒ පුංචි මල් කැකුළු
නටුවලින් ගලවලා
ඈතටම ගෙනගියා

වැට අයිනෙ වැටීගිය
සිය ගණන් මල්වඩම්
හිස් පතුරමක් ගැන
කතාවක් කියනවා

වෙඩි වැදුණු පරෙවියෙක්
වැට අයිනෙ බිම වැටී
මහ පොළොව සිඹගෙන
ජීවිතේ යදිනවා

ජීවිත සෙල

කටු මිටි නොගැටුණු
ජීවිත සෙල
ගිණි වතුර නාලා
පාසිත් බැඳීලා
වැටුණු මත්වී බමරු ඒමත
ඇත මුදුන සිඔලා

කටු මිටි ගැටෙනා
චට චට නාදෙට
නෙතු අස්වද්දන
සිත සතපාලන
ඇත මැවිලා රූ
ජීවිත සෙල
 
සිනහසෙනු මැන වේදනා පිසදා